Wednesday, August 28, 2019

දරුවන් සමඟ ලිංගික අතවර පිළිබඳව සරලව කතා කරමු

වර්තමානයේ දරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික අතවරයන්ට ලක් වෙනවා. කුඩාකල සිට දරුවන්ට තමන්ගේ රහසිගත ප්‍රදේශය නැත්නම් ලිංගික ප්‍රදේශ පිළිබඳව දැනුවත් කිරීම අද අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වෙලා තියනවා.
නමුත් අප දන්නවා දෙමාපියන් විදියට මේ පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමට අපහසුය.මන්දයත් එයට සුදුසුම වේලාව කුමක්ද යැයි දෙමාපියන්ට වටහාගත නොහැකි නිසා. එසේ වුවත් එය දරුවන්ට තේරුම් ගත හැකි සරල ලෙස කියා දීම තුළින් දරුවන්ට තමන්ගේ ශරීරයේ අංග පිළිබඳව තේරුම් කර දිය හැක.
ඇයි අප PANTS ගැන කතා කරන්නේ ?????
PANTS සංකල්පය හඳුන්වා දී ඇත්තේ දෙමව්පියන්ට මෙන්ම වෘත්තිකයින්ට මෙම කතාබහ ලෙහෙසි පහසු විදියට දරුවන්ට අවබෝධ කර දෙන්නයි.

P-PRIVATES ARE PRIVATE
දරුවන්ට තම යට ඇඳුම මගින් තම රහසිගත ප්‍රදේශය ආවරණය කරන බවත් එය තමාගේ පෞද්ගලික අවයවයක් බවත් වටහා දෙන්න. එමෙන්ම එය කාටවත් බැලීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි බව උගන්වන්න .නමුත් සමහර අවස්ථාවන්වලදී දෙමාපියන්ට, හෙදියන්ට ,දොස්තරවරුන්ට එය ස්පර්ශ කිරීමට ,පරීක්ෂා කිරීමට සිදුවෙන බව වටහා දෙන්න.එවැනි අවස්ථාවලදී එම විශේෂ පුද්ගලයින් එම ප්‍රදේශ පරීක්ෂාවට හෝ ස්පර්ශ කිරීමට ලක් කරන්නේ ඇයි බව ඔවුන්ට කාරුණිකව වටහා දෙන බවද දරුවන්ට උගන්වන්න

A-ALWAYS REMEMBER YOUR BODY BELONGS TO YOU
තම ශරීරය තමාට පමණක් අයිති බවත් ,අන් අයට එම ශරීරයට කිසියම් දෙයක් කිරීමට නොහැකි බවත් උගන්වන්න .එමෙන්ම යම් කෙනෙක් එය බැලීමට හෝ ස්පර්ශ කිරීමට උත්සහ කළහොත් "එපා" "No" යන්න බිය නොමැතිව ප්‍රකාශ කිරීමට දරුවාට උගන්වන්න. එමෙන්ම එවැනි දෙයක් සිදු වුවහොත් තමාට විශ්වාසවන්ත ම කෙනෙකුට එය බය නැතුව ප්‍රකාශ කළ යුතු බව ද දරුවාට උගන්වන්න.


N-NO MEANS NO
තමන්ට අපහසු ආකාරයට යම් කෙනෙක් හැසිරුනොත් දරුවාට සියයට සියයක් "එපා" හෝ "NO" යන වචනය පැවසීමට අයිතියක් ඇති බව උගන්වන්න. සමහරවිට මෙය තමාගේ පවුලේ සාමාජිකයෙක් හෝ තමා ආදරය කරන පුද්ගලයෙක් අතින් වුව ද සිදු විය හැකි බව උගන්වන්න.එමගින් තමන්ට අපහසුතාවයක් බියක් ඇති වුවහොත් එයට විරුද්ධ වීමට තමාට අයිතියක් ඇති බව උගන්වන්න.

T-TALK ABOUT SECRET THAT UPSET YOU
තමාව අපහසුතාවයට පත්වන ඕනෑම දෙයක් ඕනෑම අවස්ථාවක ප්‍රකාශ කිරීමට දරුවාට උගන්වන්න. ඒ ඕනෑම අවස්ථාවක තමා දරුවා වෙනුවෙන් පෙනී සිටින බව පවසන්න.හොඳ රහස් නරක රහස් පිළිබඳව තිබෙන වෙනස දරුවාට වටහා දෙන්න. නරක රහස් තමා දුකට පසුතැවිල්ලට පත් කරන බව සඳහන් කරන්න. දරුවන් ලිංගික අතවර වලට ලක් වීමේ දී සමහර පුද්ගලයින් මෙය රහසක් ලෙස තබා ගන්නා ලෙස දරුවන්ව බියට පත් කරන අවස්ථා ඔබ අසා ඇති.

S-SPEAK UP, SOMEONE CAN HELP
ඕනෑම අවස්ථාවක තමාට විශ්වාසවන්ත වැඩිහිටියෙකු ,දෙමාපියන් හෝ ගුරුවරයකුට තමාට සිදු වූ අපහසුතාවය ,දුක ,බය පැහැදිලිකර උපකාර ඉල්ලිය යුතු බව උගන්වන්න. තවද ,කුමන ප්‍රශ්නයකදී වුවද එය දරුවාගේ වරදක් නොවේ ,නමුත් ඒ පිළිබඳව නොපැවසුවහොත් කාටවත් තමාට උදව් කිරීමට නොහැකි බව කියා දෙන්න.

මෙය කියාදීමට සුදුසුම වෙලාව මොකක්ද?????
1 ඔබ දරුවා සමග නාන විට හෝ ඇඟ සෝදන විට දරුවාට ඇඳුම් අඳින විට හෝ ක්‍රීම් ගාන විට
2 දරුවන් සමග ඔබ වාහනය ගමන් කරන විට
3 ඔබේ දරුවා swimming කරනවානම් ඔබට මේ පිළිබඳව ඉතා හොඳින් දරුවාට කියා දිය හැක. දරුවාට ඔහුගේ නාන යට ඇඳුම මගින් තමන්ගේ ලිංගික ප්‍රදේශය ආවරණය වන්නේ ඇයි දැයි වටහා දෙන්න.
4 ලිංගික අතවර පිලිබදව දරුවාට අසන්නට ලැබුනු අවස්තාවක.

©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)

No comments:

Post a Comment