මාස තුනකට පස්සෙ කොහොම හරි වෙලාව හොයාගෙන ආයෙත් ඔය ගොල්ලන්ට ලිපියක් අරගෙන ඔන්න මම ආවා . අද මම ලියන මාතෘකාව කවුරුත් කතා කරන්න නැති, ඒත් ගොඩක් කාන්තාවන් මට පෞද්ගලිකව තමන්ගේ අත්දැකීම් ,ගැටළු යොමු කරපු මාතෘකාවක්. අන්තර්ජාල ලිපි,විවිධ සමාජ වල පුද්ගලයන්ගේ අත්දැකීම් ,ගැටළු අධ්යනය කරලා මේ ලිපිය ලියන්නේ ඔයගොල්ලන්ගේ දැනුම මේ පිළිබඳව වැඩි කිරීම මූලික කරගෙනයි.
බොහෝ කාන්තාවන් ඔසප් කාලයේදී ලිංගිකව එකතු වෙන්න දක්වන්නේ අකමැත්තක් ,තවත් අය ඒකට කැමැත්තක් තිබුණ විවිධ හේතු නිසා බිය වෙනවා.
****වාසි******
1) ඔසප් වේදනාවට සහනයක්
ලිංගික ක්රියාවලියේදී ඔබ සුරතාන්තයට ( Orgasm ) පත් වීම ඔබගේ ඔසප් වේදනාව අඩු වෙන්න හේතු වෙනවා. මාසයකට වරක් ගර්භාෂය ඇති ස්තර ඉවත් වීම( ඩිම්බය )නිසා සමහර කාන්තාවන්ට ඔසප් කාලයේදී වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. ලිංගිකව තෘප්තිමත් වෙනකොට ගර්භාෂයේ ඇති මාංශපේෂීන් ක්රියා කරන නිසා (Contract and Release) එමගින් ඔබට සහනයක් ලැබෙනවා. ඒ වගේම ලිංගික ක්රියාවලියේදී නිකුත් වන එන්ඩොෆින් සහ ඔක්සිටොක්සින් හෝමෝන නිසා ඔබට සතුට සහනය ලැබෙනවා. ඒ විතරක් නෙමේ ලිංගික ක්රියාවලියේදී කය වගේම මනස යන දෙකම ක්රියාකරන නිසා ඔසප් කාලයේදී ඇතිවන අපහසුතාවය මග ඇරෙනවා.
2) ඔසප් කාලය කෙටි වීම
ලිංගික ක්රියාවලියේ දී කාන්තාවකට උපරිම ලිංගික තෘප්තිය ලැබෙන විට ගර්භාෂයේ මාංශ පේශීන් ක්රියාවලිය නිසා ගර්භාෂය අන්තර්ගත දේ ඉක්මනින් ඉවත් කරනවා මේ නිසා , ඔසප් කාලය කාලය කෙටි වෙන්න පුළුවන්.
3) ලිංගික ආශාව වැඩි වීම
මට කතා කළ බොහෝ කාන්තාවන් පැවසූ දෙයක් තමයි මේ කාලය තුළදී ඔවුන්ගේ ලිංගික ආශාව වැඩි වුණු බව. මේ තත්වය ඇති වෙන්නේ ඔසප් කාලය තුළදී ඔබේ ශරීරයේ ඇති වන හෝමෝන ක්රියාවලිය නිසයි. ඉතින් ඒකට ඔබ බියවෙන්න වත් ,ලැජ්ජ වෙන්න වත් වුවමනා නැහැ .මේ කාලයේදී ඔබට ලිංගික එකතුවීමට අවශ්යනම් ,ඔබගේ සැමියා /සහකරු සමඟ ඒ පිළිබඳව කතා කරලා ලිංගිකව එකතු වෙන්න පුළුවන්.
4) Natural lubrication
ඔබ ලිංගික ක්රියාවලියේදී lubricant පාවිච්චි කරනවනම් ,මේ කාලය තුලදී ඔබට කෘතිම ලුබ්රිකන්ට් භාවිතා කරන්න අවශ්ය වන්නේ නෑ .මොකද ඔබගේ රුධිරය,ස්වාභාවික ලුබ්රිකන්ට් එකක් විදිහට ක්රියාකරන නිසා ඔබට ඒ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්.
5) ඔලුව කැක්කුමට සහනයක්
සමහර කාන්තාවන්ට මේ කාලය තුළදී ඔලුව කැක්කුම ආදී අපහසුතාවයන්ට පත් වෙන්න පුළුවන්.ඉතින් ලිංගික එකතු වීමේන් පසු මේ සඳහා සහනයක් ලැබුණු බවයි මට කතා කළ බොහෝ කාන්තාවන් පැවසුවේ.
******අපහසුතා සහ විසඳුම්********
••••ඔබ පත් වෙන ලොකුම අපහසුතාවය වෙන්නේ
ලිංගික ක්රියාවලියේදී හා පසුව ඔබගේ රුධිරය නිසා, ඔබගේත් ,සැමියාගේත් ,ලිංගිකව එකතු වෙන තැනත් අපිරිසිදු වීමයි. විශේෂයෙන්ම ඔබට ඔසප් වන මුල් කාලයේදී සාමාන්ය ප්රමාණයට වඩා රුධිරය යනවනම් මේ අපහසුතාවය ගැන ඔබ පීඩාවට පත් වන්න පුළුවන්.
නමුත් ඔබ තද වර්ණයෙන් යුතු තුවායක් නැතිනම් ගනකම් රෙද්දක් මත ලිංගික ක්රියාවලිය කිරීම මගින් මේ අපහසුතාවය මග හරවා ගන්න පුලුන්.ඒ වගේම මේ කාලයේ දී ඔබ ලිංගික ක්රියාවලිය සඳහා නානකාමරය යොදා ගන්නවා නම් ඒකත් මෙයට හොඳම විසඳුමක්.
••••මේ කාලයේදී ඔබ wet wipes භාවිතා කරනවානම් ලිංගික ක්රියාවලියෙන් පසු ඔබත් ඔබේ සැමියාත් පිරිසුදු කිරීම පහසු වෙනවා.
••••දරුවකු පිලිසිඳ ගැනීමට ඔබට බලාපොරොත්තුවක් නැත්නම් ඔබේ සහකරු කොන්ඩම් බාවිතා කිරීම වඩා සුදුසුයි.
••••ඔබ සිටින ලිංගික ඉරියව්ව අපහසුතාවයක් ඇත්නම් ඔබට වෙනත් ලිංගික ඉරියව් මේ කාලය තුලදී භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදියට Missionary, හෝ Spooning
••••රුධිරය තුළ ලිංගික රෝග කාරකයන් ජීවත්වන නිසා ඔබ හෝ ඔබගේ ලිංගිකව එකතු වන පුද්ගලයාට ලිංගික රෝග තත්ත්වයක් ඇත්නම් අනිවාර්යෙන්ම ලිංගික ආරක්ෂණයක් (කොන්ඩම් )බාවිතා කළ යුතු වනවා.
••••ඔබ ඔසප් කාලය තුල Tampon භාවිතා කරනවානම් ලිංගික ක්රියා වලට කලින් එය ඉවත් කරගන්න වෙනවා.මොකද නැත්නම් ලිංගික ක්රියාවලියේ දී මෙය තවදුරටත් ඇතුලට තල්ලු වීම නිසා,ඒ ඉවත්කර ගන්න වෛද්යවරයෙකුගේ සහය ලබා ගන්න සිද්ධ වෙනවා.
???? Pregnant ?????
සාමාන්යයෙන් දරුවකු පිළිසිඳගැනීමට ලිංගිකව එකතු වීමට තිබෙන හොදම කාලය ලෙස හඳුන්වන්නේ සරු කාලය යි ,නැත්තන් ඔබගේ ඔසප්වීම පටන් ගත්ත දවසේ සිට දවස් 14කට පසු කාලයයි. ඒත් සෑම කාන්තාවකටම තිබෙන ඔසප් චක්රය සමාන නැහැ. (මේ ගැන මම " ඔබගේත් ඔහුගේ සරු කාලය තීරණය වීමට බලපාන කරුණු මොනවා ද යන " යන ලිපියෙන් කතා කළා .කැමති අයට "පුංචි අපියි පුංචි ලොවයි" ගෲප් එකට ගිහින් කියවන්න පුලුවන්)
ඔබට තියෙන්නේ කෙටි ඔසප් චක්රයක් නම් ඔසප් කාලය තුල ලිංගික එකතුවීමෙන් දරුවෙක් හටගන්න හැකියාවක් තියෙනවා.ඒ නිසා ඔබ දරුවෙකු සඳහා බලාපොරොත්තුවක් නැති නම්, ලිංගික ආරක්ෂක ක්රියාවලියක් භාවිතා කිරීම සුදුසුයි.
සාමාන්යයෙන් ශුක්රාණුවකට දින හතක් වැනි කාලයක් ඔබගේ ශරීරය තුළ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන්නේ දින 22ක ඔසප් චක්රයක් නම් ඔසප් චක්රයෙන් පසු සරු කාලය ඉතා ඉක්මනින්ම ඇතිවන නිසා දරුවකු හට ගැනීමට තිබෙන හැකියාව වැඩියි.
ඒ වගේම ගොඩක් සැමියන් මේ කාලයේදී ඔවුන්ට ලිංගිකව එකතුවීමට උවමනාව තිබුණත්, තම බිරිඳට අපහසුතාවයක් ඇති වේ යැයි හිතලා මේ ගැන කතා කරන්නේ නැහැ. සමහර කාන්තාවන්ට මේ කාලෙදි අපහසුතාවක් ඇති වෙනවා වගේම තවත් සමහර කාන්තාවන්ට මේ කාලයේදී තමන්ගේ ලිංගික ක්රියාවලියට තිබෙන කැමැත්ත වැඩි වෙනවා . ඉතින් හොඳම දේ තමයි ඔබ මේ පිළිබඳව ඇය සමඟ කතා කිරීම. ඔබගේත් ඇයගේත් හැඟීම් කතා කිරීම තුළින් බෙදාගැනීමෙන් ඔබටත් ඇයටත් හොඳ ලිංගික තෘප්තියක් ලබාගැනීමට හැකිවෙනවා.
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)
No comments:
Post a Comment